Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06

Dayaka Dhamma Talks – 06, මෙහි හයවන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.
Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.


  1. මංගල සූත්‍රයෙහි දැක්වෙන තුන්වෙනි ගාථාව. (29-05-2022): මෙම දේශනාවේ; මෙලොවත් පරලොවත් අර්ථසම්පන්න හෝ පරිහානියට හෝ පත්කරගැනීමට මූලික වෙන කරුණු තුන මොනවාද? මේ ජීවිතයේදී වීර්ය කල පමණින් ජීවිතය සාර්ථක වෙනවා යන දැක්ම සම්පුර්ණයෙන්ම නිවැරදිද? සංසාරයේ අප කුසල් සිදුකරගෙන තිබූ නිසා ජීවිතය සාර්ථක වෙනවා යන දැක්ම සම්පුර්ණයෙන්ම නිවැරදිද? ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය යනු කුමක්ද? අපගේ සිතුවිලි, වචන සහ ක්‍රියා හසුරුවන ආකාරයෙන් අපට සැප හෝ දුක ලංවීම පාලනය කරන්නේ කෙසේද? ජීවිතයක් සමබර වෙන්නට සංසාරික හේතු, පාරිසරික /සාමාජික හේතු සහ මානසික හේතු බලපාන්නේ කෙසේද? යන වටිනා කරුණු ඇතුලත් වේ.
    “මංගල සූත්‍රයෙහි දැක්වෙන තුන්වෙනි ගාථාව” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  2. ශීලය. (04-06- 2022): ශීලය පැහැදිලි කරමින් වර්ෂ 2022 ජුනි මස 04 වෙනි දින සියස රූපවාහිනියෙන්, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ධර්ම දේශනාවේ ශීලය පිළිබඳව බොහෝ බෞධයන් එතරම් නොදන්නා සමහර කරුණු ඇතුලත් වේ. ඒවා නම්;  01. ශීලය යනු මානසික, කායික සහ වාචසික සංවරය මත පිහිටා නොකළ යුතු දේ නොකිරීම සහ කලයුතු දේ කිරීම වේ. 02. එමෙන්ම ශීලය නිර්වාණ ප්‍රතිපදාවේ පදනම වන අතර ශීලය ගුණය සහ නුවන අවධි කිරීමට හේතුවේ. 03. ශීලය පාරමිතාවක් වෙන්නට නම් ශීලයෙන් සමාධිය සහ ප්‍රඥාව උපදවා ගැනීම කලයුතු වේ. 04. ශීලය පාරමිතාවක් හැටියට භවයෙන් භවයට ඉදිරියට යන්නේ කෙසේද? 05. ඇතැම් අයට පන්සිල් රැකීම පහසු වන්නේ කෙසේද? 06. ගසකින් කොලයක් කැඩීමෙන් වැළකීමෙන් වැනි සියුම් කරුණකින් ශීල පාරමිතාව උසස් වන්නේ කෙසේද? 07. සතිය සහ සම්පජඤ්ඤය ශීලයට අන්‍යෝන්‍ය වශයෙන් බලපාන්නේ කෙසේද?
    යන කරුණු වේ.
    ශීලය ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  3. දානය සහ ශීලය. (05-06-2022): මෙම ධර්ම දේශනාව කලාතුරකින් අසන්නට ලැබෙන විශිෂ්ඨ ධර්ම දේශනාවක් වන්නේ; දානය සහ ශීලය අතර ඇති සම්බන්ධතාවය පෙන්වා දීම, දානයේ ප්‍රභේද මැනවින් දක්වා තිබීම, දානය සහ ශීලයට මූලික වෙන මානුෂීය මනෝභාවයේ ඇති වැදගත් කම, කුසලය වැඩෙන ආකාරයෙන් දන්දෙන ආකාරය, දානයේ ඇති භෞතික සහ මානසික කොටස යන අංගයන් දෙක වෙන වෙනම විපාක දෙන ආකාරය, දානයේ ඇති මානසික කොටස ශීලයට සම්බන්ධ වෙන ආකාරය, ශීලයේ ඇති ශික්‍ෂණය සහ සංවරය යන අවස්ථා දෙකම දියුණු කිරීමේ වැදගත් කම, දානය දීමේදී එය ධාර්මිකව උපයාගත් දෙයකින් සිදුකල යුතුබව දක්වන්නේ මන්ද?, ඥාන සම්ප්‍රයුක්තව දානය සිදු කරන්නේ කෙසේද? යන කරුණු නිසාවෙනි.
    ”දානය සහ ශිලය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. (09-06-2022): මෙම ධර්ම දේශනාවේ නිවන් මග දියුණු කරන ශ්‍රාවකයන් හට වැදගත් වූ ප්‍රායෝගික කරුණු කිහිපයක් මනා ලෙස පැහැදිලි කර ඇත. ඒවා නම්; 01. නිවන් මාර්ගය පුහුණු කිරීමේදී හැම විටකම ”දුක නැති කිරීමේ වැඩ පිළිවෙල” යන පදනම මත පිහිටා ක්‍රියා කිරීමේ වැදගත් කම. 02. සම්මා දිට්ඨියෙන් දැකිය යුත්තේ කුමක්ද? 03. පෘතග්ජනයන් සුඛ දුක්ඛ උපෙක්ඛා යන වේදනා තුලින් දුක දැකීම, හඳුනා ගැනීම නිසා දුක්ඛ සත්‍යය දැකීමට අපහසු වෙන ආකාරය. 04. ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය සහ දුකේ හේතුව පිරිසිඳ දැක ගැනීමේ අවශ්‍ය තාවය. 05. කුසල ධර්ම දියුණු කල පමණින්ම දුක් දුරු නොවන්නේ ඇයි? 06. හේතු ඵල දැක්ම දියුණු කරගැනීමේ වැදගත්කම සහ එහි ඇති සීමාව. 07. සම්මා දිට්ඨිය, සම්මා සතිය සහ සම්මා වායාමයේ ඇති වැදගත්කම. යන කරුණු වේ.
    ”දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න. 
  5. ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද? (11-06-2022): ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද යන ආකාරයන් පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ අප ප්‍රියකරන පුද්ගලයින්, ද්‍රව්‍යයන්, අවස්ථාවන් සහ අපගේ කියා තදින් අල්වාගත් සිරුර සහ අපගේ හැකියාවන් කාලයත් සමග වෙනස් වෙමින්, නිරන්තරයෙන් වෙන් වෙමින් යන නිසාවෙනි.  එවන් පසුබිමක අපගේ සිත සකස් කරගන්නේ කෙසේද යන්න ඉතා ප්‍රයෝගිකව බුදු දහමට අනුගත වූ විපස්සනා ක්‍රම වේදයක් තුලින් මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
    ”ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද?” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  6. සුගතෝවාදය. (14-06-2022): මෙම ධර්ම දේශනාව සියළුම බෞධයන් හට බොහෝ වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.  01. සෑම දිනයක ම බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා හට දුන් එකම අවවාදය (සුගත අවවාදය) එනම් සුගතෝවාදය කුමක්ද සහ එය එතරම් වැදගත් වන්නේ මන්දැයි මෙම දේශනාවෙන් හොඳින් පැහැදිලි කෙරේ. 02. සුගතෝවාදය දිනපතා ම නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් මතක් කලේ මන්ද? 03. දෙවියන් මනුලොව සුගතිය ලෙස සැලකුවත් මිනිසුන් ව ඉපදුණු අයට ඒ මිනිස් ශක්තිය අවදි කරගැනීමට අපහසු වන්නේ මන්ද යන්න පැහැදිලි කිරීම.  04. බුදුවරයෙකුගේ පහළ වීම ඉතාමත් විරල සිදුවීමක් වන්නේ මක්නිසා ද යන්න පැහැදිලි කිරීම. 05. අප්‍රමාදී බව යන්න කුමක්ද යන්න ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කිරීම යනාදී වටිනා කරුණු රැසක් ඇතුලත් වේ.
    “සුගතෝවාදය” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න. 
  7. රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ. (26-06-2022): රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ පිලිබඳ අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ශ්‍රී ලාංකිකයන් හට ඉතාම කාලෝචිත වන්නේ; 01. පුද්ගලිකව සහ ජනතාවක් වශයෙන් අප අපදා අවස්ථාවන් වලදී හැඟීම් මත සහ ඇබ්බැහි මත ප්‍රතික්‍රියා කිරීම වෙනුවට සිහිය සහ නුවණ අවධි කරගන්නා ආකාරය. 02. අපදා අවස්ථාවන් (අපේක්ෂා නොකළ කරදරයක්) වලදී අපගේ මානසික හා කායික වීර්යත් සහ බලයත් පුබුදුවා ගැනීමේ හැකියාවේ ඇති වැදගත්කම. 03. මෙවන් ආපදා කාලයක දී එයින් නැගී සිටීමට අප විසින් සිදුකල යුතු පියවර පහක් ඇතුලත් ක්‍රමවේදය හඳුන්වා දීම, යන කරුණු නිසාවෙනි.
    “රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  8. සුතමය සහ චින්තාමය ඥාන භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම. (30-06-2022): සුතමය සහ චින්තාමය ඥාන භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවෙන් අද කාලයේ බෞධයන්ගේ දහම් මග පුහුණුවේ මූලික දුබල කමක් මග හරවා ගන්නා ආකාරය පැහැදිලි වේ. සුතමය සහ චින්තාමය ඥානයන් යනු කුමක්ද සහ එහි ඇති සීමාවන් නිසා භාවනා ඥානය දියුණු කිරීමේ වැදගත්කම, භාවනා ඥාන යනු කුමක්ද සහ එය තුන් ආකාරයකින් වඩනා ආකාරය කෙසේද යන වටිනා කරුණු ප්‍රායෝගික උදාහරණ ඇසුරෙන් මෙහිදී පැහැදිලි කෙරේ.
    “සුතමය සහ චින්තාමය ඥාන භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

  9. පංච නීවරණ ධර්ම (30-06- 2022): පංච නීවරණ ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව බොහෝ ප්‍රායෝගික වටිනා කමකින් යුතු වන්නේ එහි දී බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ධර්මයක් පාදක කර ගනිමින් පංච නීවරණ ධර්ම යනු මොනවා ද සහ ඒවා නැති කල යුත්තේ කෙසේ ද යන ආකාරය මනාව පැහැදිලි කිරීම නිසාවෙනි.
    “පංච නීවරණ ධර්ම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  10. සම්මා සමාධියෙන් නිවන් මගට. (10-07-2022): සම්මා සමාධියෙන් නිවන් මගට යන වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 ජූලි 10 දින සියස රූපවාහිනිය තුලින් සිදු කරන ලදී. මෙම දේශනාව නිවන් මග පුහුණු කරන අයට වැදගත් වන්නේ; 1. නිවන් දැකීමට සම්මා සමාධියේ ඇති අවශ්‍යතාවය. 2. සම්මා සමාධියෙන් අවබෝධ කරගන්නා කරුණු මොනවා ද යන්න. 3. සෑම සමාධියක් ම නිවනට උපකාර නොවන බව සහ සහ සමාධිය යනු කුමක්ද යන බව. 4. අකුසල සමාධිය, කුසල සමාධිය සහ සම්මා සමාධිය අතර ඇති වෙනස්කම් දැන ගැනීමේ වැදගත් කම නිවන් මග දියුණු කිරීමට බලපාන ආකාරය. 5. කුසල සමාධිය වඩනා ආකාර තුන. 6. බෞද්ධ බොහෝ දෙනෙකුට පැහැදිලි නැති “විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී” යන ක්‍රමවේදය මනාව පැහැදිලි කිරීම. යන වටිනා පැහැදිලි කිරීම් නිසාවෙනි.
    “සම්මා සමාධියෙන් නිවන් මගට” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  11. ශීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස්කර ගැනීම. (17-07-2022): ශීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස්කර ගැනීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදු කරන ලද මෙම විශිෂ්ඨ ධර්ම දේශනාව, පහත සඳහන් සුවිශේෂ කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම වැදගත් වේ. 01. අපගේ ජීවිතයේ ඇතුලත සහ පිටත ඇතිවී ඇති ගැටළු කාරී තත්වයෙන් මිදීමේ කර්තව්‍යට මුලිකව ශීලයේ පිහිටා සමාධිය සහ ප්‍රඥාව වැඩීම අත්‍යාවශ්‍ය බව බුද්ධ වචනය ආශ්‍රිතව මනා ලෙස පැහැදිලි කිරීම. 02. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවා වූවත්, පාරමිතාවන් සම්පුර්ණ කරගෙන සිටියා වූවත් ශීලයේ පිහිටියේ නැති නම් ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාර පිරිහීමට පත් විය හැකි බව බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වූ මහදන සිටුවරයාගේ ජීවන පුවත තුලින් පහදා දීම. 03. කෙලෙස් තවන දැඩි වීර්ය ඇතිව දක්‍ෂ භාවයෙන් කටයුතු කරමින් සමථ සහ විදර්ශනා ප්‍රඥාව වැඩීමේ වැදගත් කම.  04. ශීලයේ ප්‍රභේද මැනවින් පැහැදිලි කරමින් එය ජීවිතයට සම්බන්ධ වෙන ආකාරය ප්‍රායෝගික උදාහරණ තුලින් පහදා දීම.  05. භෞතික සම්පත් පරිහරණය කලයුතු නිවැරදි ආකාරය අරියවංශ සූත්‍රය ඇසුරින් පැහැදිලි කිරීම යන වටිනා පැහැදිලි කිරීම් නිසාවෙනි.
    “ශීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස්කර ගැනීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  12. දුක් පීඩා අවම කර ගැනීම සඳහා ධර්මානුකූලව කළ යුතු ආකාරය (22-07-2022): දුක් පීඩා අවම කර ගැනීම සඳහා ධර්මානුකූලව කළ යුතු ආකාරය පිලිබඳ මෙම වටිනා ධර්ම දේශනාව නිවන් මග පුහුණු කරන අයට වැදගත් වන්නේ; 01. ජීවිතයේ සහ සසරේ දී බලපවත් වන හේතු ඵල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් සසර ගමන නැවැත්මට පත් කරන තුරු අප ගතකල යුතු පැවැත්ම, දුක් පීඩා අවම කර ගනිමින් සිදු කරන ආකාරය පැහැදිලි කිරීම. 02. එම හේතු ඵල න්‍යාය අපගේ ජීවිත වලට බද්ධ වී ක්‍රියාත්මක වන නියාම පහ වන කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඉර්තු නියාම සහ ධම්ම නියාම පුද්ගල කැමැත්තට පරිබාහිරව සිදු වෙන ආකාරය පිලිබඳව පැහැදිලි කිරීම. 03. මේ ආත්මයේදී වෙනසක් කල හැකි ප්‍රබල නියාම ධර්මයන් වන චිත්ත නියාමය සහ කම්ම නියාමය මනා ලෙස පැහැදිලි කිරීම. 04. අප සිතන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය අනුව අතීත අකුසල සහ කුසල කර්ම මේ ආත්මයේදී මතු වීම වෙනස් කරන ක්‍රම වේදය බුද්ධ දේශනාවට අනුව මනා කොට පැහැදිලි කිරීම. 05. ප්‍රඥා සම්පන්නව කුසල කර්ම සිදු කරනා ආකාරය සහ 06. ප්‍රයෝග සම්පත්තිය තුලින් දුක් පීඩා අවම කරගන්නා ආකාරය යන වටිනා පැහැදිලි කිරීම් නිසාවෙනි.
    “දුක් පීඩා අවම කර ගැනීම සඳහා ධර්මානුකූලව කළ යුතු ආකාරය” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  13. අරතිය දුරු කිරීම හා සතුටින් ගුණධර්ම වැඩීම. (17-07-2022): මෙම විශිෂ්ඨ ධර්ම දේශනාව, පහත සඳහන් සුවිශේෂ කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම වැදගත් වේ. 01. සතුටින් ගුණධර්ම වඩනා මාර්ගය කෙසේද කියා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ඉතා වටිනා සුත්‍රයක් වූ අරියවංස සූත්‍රයේ පාඨයක් අනුව පැහැදිලි කිරීම. 02. අධි කුසල ධර්මයන් කෙරේ ඇතිවන මැලිකම හෙවත් අරතිය, දුරු කර ගැනීමේ වැදගත්කම දක්වමින් අරතිය ඇතිවෙන ආකාරයත් එයින් ගැලවෙන ආකාරයත් පැහැදිලි කිරීම. 03. අරියවංස ප්‍රතිපදාවේ පිහිටීමෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මනා ලෙස දියුණු වෙන ආකාරය පැහැදිලි කිරීම. 04. භාවනාරාමතාවය හෙවත් භාවනාවට කැමැත්ත ඇතිකරගන්නේ කෙසේ දැයි සියුම් ලෙස පැහැදිලි කිරීම. 05. සාමිස සතුට සහ නිරාමිස සතුට අතර වෙනස සහ නිරාමිස සතුට ලබා ගන්නා ආකාරය පැහැදිලි කිරීම.
    “අරතිය දුරු කිරීම හා සතුටින් ගුණධර්ම වැඩීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  14. අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය. (13-08-2022): අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව තුලින් ගිහි පැවිදි සියළු ලෝකවාසි මිනිසුන් හට ඉතා වටිනා පණිවිඩයක් ඉදිරිපත් කෙරේ.  අති මහත් ලෝක ජනතාව උදයේ අවදි වූ අවස්ථාවේ පටන් රාත්‍රී නින්දට යන තුරු සිතින්, වචනයෙන් සහ කයින් සිදු කරන ක්‍රියා බොහෝ විට අනුන්ට සහ තමන්ට අහිතකර ඒවා වන ආකාරයත් එබඳු ආකාරයෙන් අකුසලයට මානසික ව සමවැදීම තුලින් පවා වුවද තමන්ට සහ අන්‍යන්ට සිදුවන විපත, වර්ථමාන විද්‍යාත්මක පර්යේෂණ භාවිතා කරමින් මෙහි මනා ලෙස පෙන්වා දේ. එමෙන්ම කුසලයට සමවැදීම තුලින් නිවසේ සිටින අයට, දුරින් සිටිනා අන් මිනිසුන්ට පමණක් නොව සත්වයන් සහ ගහ කොළ පරිසරයට පවා සිදු වෙන හිතකර බලපෑම මෙහිදී සාධක සහිතව පැහැදිලි කෙරේ.  මෙම දේශනාවේ ඇති විශේෂ වටිනාකමක් වන්නේ එවැනි හැකියාවක් අප තුල ජනිත කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ද එක්තරා හෙලි දැක්මක් ඇතුලත් වෙන බැවිනි.
    “අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  15. බුදුගුණ සිහිකිරීමෙහි වටිනාකම. (26-08-2022): මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ටතම දේශනාවක් වන්නේ ඒ තුලින් බෞද්ධයන්ගේ පවතින ප්‍රධාන දුබල කම් රැසක් නිවැරදි කර ගැනීමට මග පෙන්වීමක් ඇති කෙරෙන නිසාවෙනි. එම මග පෙන්වීම් ක්‍රමිකව පහත දැක්වේ. 01. නිවන් මගට ප්‍රවේශ දොරටුව ශ්‍රද්ධාව බව පැහැදිලි කෙරෙන බුද්ධ වචනයන් සහ ශ්‍රද්ධාව යනු බුද්ධත්වය පිළිබඳව සහේතුකව ඇති කරගන්නා වූ පිළිගැනීම බව පහදා දීම. 02. බුද්ධ පූජා වැනි ආමිස (ඉන්ද්‍රිය ගෝචර, ජීවිතය පවත්වා ගැනීමට උදවු වෙන දේවල් පමණක් ලැබෙන) පිංකම්, එයට අමතරව ගුණ නුවණ දියුණු කර ගැනීමටත් හැකි වෙන ප්‍රතිපත්ති පූජා බවට පත්කර ගන්නේ කෙසේ ද යන බොහෝ දෙනා නොදැන සිටි මගක් පැහැදිලි කර දීම. 03. එයට අමතරව බුදු ගුණ සජ්ඣායනා කරමින් වන්දනා කිරීමෙන්, බුදු ගුණ ශ්‍රවණය කිරීමෙන්, බුදු ගුණ කියවීමෙන් සහ ලිවීමෙන් බුදු ගුණ ආවර්ජනය කරමින් අපගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සහ අපගේ ගුණය සහ නුවණ ඒ මගින් වර්ධනය වෙන ආකාරය පැහැදිලි කර දීම. 04. විදර්ශනාව වැඩීම තුලින් බුදු ගුණය ගැඹුරින් වටහා ගැනීම සහ එතුලින් ශ්‍රද්ධාව ස්ථිර කරගන්නා ආකාරය. 05. ජීවිතයේ වියපත් කාලයේදී සහ ජීවිතයේ අනෙක් අවස්ථා වල දී පවා බුදුගුණ වැඩීම අපට පිහිට වෙන ආකාරය පැහැදිලි කිරීම.
    බුදුගුණ සිහිකිරීමෙහි වටිනාකම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න. 
  16. සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධශාසනය. (10-09-2022): සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කිරීමේ ගිහි පැවිදි කාර්ය භාරය කුමක්ද යන්න කුමක්දැයි පැහැදිලි කරමින් සිදුකල එම දේශනය සියළු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව පාදක කරගනිමින් ආරම්භ කෙරිණි. පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ ශාසනය එකිනෙකට බැඳි ඇති ආකාරය මනාවට පැහැදිලි කිරීම වර්තමාන බෞද්ධයා හට ඉතාම වැදගත් වේ. ඒ පිළිබඳව වර්තමාන බෞද්ධ භාවනා ලෝකයේ පවා වැරදි වැටහීම් ඇති බව මෙහිදී මනාලෙස පැහැදිලි කෙරිණි. එමෙන්ම එම ත්‍රිවිධ ශාසනයම රැකීම ශාසනයේ චිරස්ථිතිය බව මෙහිදී පැහැදිලි කෙරිණි. එසේම එම සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කිරීමේදී අප ගිහි සහ පැවිදි සියළු දෙනාගේ කාර්ය භාරය කුමක්දැයි ගැඹුරින් ඉන්පසුව පැහැදිලි කෙරිණි.
    ‘සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධශාසනය’ යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  17. අකුසල සමාපත්තියෙන් කුසල සමාපත්තියට. (11-09-2022): මෙම වටිනා ධර්ම දේශනාව වැදගත් වන්නේ; 01. අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය යනු කවරේද යන්න පැහැදිලි කිරීම. 02. කුසල සහ අකුසල ජනිත වීමට බලපාන මූලික මනෝභාවයන් මොනවාදැයි පැහැදිලි කිරීම. 03. කුසල සමාපත්තියට අප එළඹ සිටීමට ප්‍රගුණ කල යුතු ශ්‍රද්ධා, හිරි, ඔතප්ප, වීර්ය සහ ප්‍රඥාව කුමක්ද (සේඛ බල) යන්න පහදා දීම.  04. ආකාරවතී ශ්‍රද්ධාව කුමක්දැයි පහදා දීම. 05. අපගේ මනසේ අශ්‍රද්ධාව සහ සැකය ඇතිවෙන ප්‍රායෝගික අවස්ථා පැහැදිලි කිරීම. 06. බුදු දහමේ ලැජ්ජාව සහ භය යන්න කුමක්දැයි ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කිරීම. 07. දරුවන් සහ කිට්ටු ඥාතීන් නිසා අකුසලයට පත්වන සිත එයින් මුදවා ගන්නා ආකාරය සහ දරුවන් හැදිය වැඩිය යුතු නිවැරදි ආකාරය ඇතුළු කාලීන වටිනා කමක් ඇති තවත් දහම් කරුණු රැසක් ඇතුලත් නිසාවෙනි.
    “අකුසල සමාපත්තියෙන් කුසල සමාපත්තියට” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න..
  18. එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය. (09-10-2022): එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාව පහත සඳහන් කරුණු නිසා ගිහි පැවිදි සෑම දෙනාටම ඉතාම වැදගත් වේ; 01. අප සංකල්පීය වශයෙන් ගොඩනගා ගන්නා මමත්වය දැඩිව උපාදාන කර ගැනීම නිසාම අප ‘මම’ මෙහෙම කෙනෙක් යැයි අර්ථ නිරූපණය කර ගනිමින් ඒ තුලින් ගැටීම්, චිත්ත වේදනා සහ ඇලීම් ඇති කරගන්නා ආකාරය එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වා දීම. 02. එම ‘මම’ නිසා මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ඇති කරගන්නා ‘මම සිතන විධියට ම දේවල් සිද්ධ වෙන්නට ඕනෑ’ සහ ‘මම මෙහෙම කෙනෙක්’ යන දැඩිව අල්වා ගන්නා හේතුව නිසා විවාහ සහකරුවන් තුල, සමාජය තුල, ආයතන තුල, වෛද්‍යවරුන් තුල, ප්‍රධානින් තුල, ගුරුවරුන් තුල, භික්ෂුන් වහන්සේලා තුල, භාවනා යෝගීන් තුල, දෙමාපියන් තුල, යනාදී බොහෝ දෙනා තුල ඇති වන මමත්වයේ ප්‍රබල තාවය මත සිදුවිය හැකි, මේ ජීවිතයේ සහ සංසාරයට බල පැවැත්විය හැකි, ඒ අයට නොතේරෙන දුබල කම් රැසක් හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීම. එමෙන්ම ඒ නිසා විවාහ බිඳ වැටීම්, පුද්ගල සහ සමාජ සංවර්ධනයේ දුබලතා ඇතිවීම් සහ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේ දුබලතා ඇති වෙන ආකාරය පැහැදිලි කිරීම. 03. එවැනි මමත්වය අඩු කරගත හැකි ආකාරයන් පෙන්වා දීම.
    “එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ආකාරය” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  19. සප්ත බොජ්ඣංග ධර්ම. (24-11-2022): සප්ත බොජ්ඣංග ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව, බොජ්ඣංග ධර්ම පිලිබඳව මෑත කාලයේදී සිදුකල විශිෂ්ඨතම ධර්ම දේශනාවක් වන්නේ පහත සඳහන් හේතුන් නිසාවෙනි. 01. දේශකයාණන් වහන්සේ බොජ්ඣංග ධර්ම මොනවාද සහ එම ධර්ම වලට බොජ්ඣංග කියා කියන්නේ කුමන හේතුවක් නිසාවෙන් දැයි පැහැදිලි කිරීම පළමු බොජ්ඣංග ධර්මය වන සති සම්බොජ්ඣංගයෙන් ආරම්භ කරති. වර්තමාන සමාජයේ සතිය පිළිබඳව ඇති ජනප්‍රිය අර්ථ දැක්වීම් විග්‍රහ කරමින් සහ සතිමත් බව පුහුණු කරනා ක්‍රම වේදයන් තුලින් අනායාස සතිමත් බවක් ඇති කරගන්නේ කෙසේදැයි ඉතා අපූර්ව උදාහරණයක් ඇසුරු කරගනිමින් පැහැදිලි කෙරේ.  එමෙන්ම බුදුදහමේ දක්වන සතිය කුසල චෛතසිකයක් වන්නේ මන්ද සහ සති චෛතසිකය අකුසලයෙන් තොර වීමේ වැදගත්කම දහම් මග වැඩීමට අත්‍යවශ්‍ය වෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ. 02. දෙවනුව, නිවන් ලබා ගැනීම සඳහා එනම් බොජ්ඣංග ධර්මයක් වීම සඳහා එම අනායාස සතිමත් බව තව දුරටත් දියුණු කල යුත්තේ කෙසේදැයි යන්න දේශකයාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව එම සතිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම තුලින් වේ. 03. එම ආකාරයන් හතර පදනම් කර ගනිමින් අවශේෂ බොජ්ඣංග ධර්මයන් වන ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොජ්ඣංගයන් මනා කොට විස්තර කෙරේ.
    “සප්ත බොජ්ඣංග ධර්ම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  20. සම්මා සංකප්ප (01-11-2022): ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දෙවන අංගය වන සම්මා සංකප්ප පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව දහම් මග පුහුණු කරන ශ්‍රාවකයන්ට බොහෝ වැදගත් වන්නේ පහත සඳහන් මූලික හේතුන් නිසාවෙනි.  එනම් සම්මා සංකප්ප වන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප යනු කුමක්දැයි පැහැදිලි කිරීම, ඒවා වර්ධනය කර ගන්නා ආකාරය සහ අනුගමනය කල යුතු මාර්ගයන් සහ මිත්‍යා සංකල්පනාවන් ගෙන් ඒවා වර්ධනයේදී බාධා පැමිණෙන ආකාරය මනාකොට පැහැදිලි කෙරෙන නිසාවෙනි.
    “සම්මා සංකප්ප” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  21. මහා චත්තාරීසක සූත්‍රය. (19-12-2022): මහා චත්තාරීසක සූත්‍රය එදිනෙදා ජීවිතයට සහ සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමට උපයෝගී වන ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ට දේශනාවක් වන්නේ පහත සඳහන් මූලික හේතුන් නිසාවෙනි.
    01. සම්මා දිට්ඨිය පුර්ව කොට, සම්මා වායාම සහ සම්මා සතිය පරිවාර කොට සම්මා සමාධිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීම. 02. එමෙන්ම එම සම්මා දිට්ඨිය, සම්මා වායාම සහ සම්මා සතිය එදිනෙදා ජීවිතයට යොදා ගන්න ආකාරය පැහැදිලි කිරීම. 03. කෙලෙස් ප්‍රහාණය වන ගුණ ධර්ම වැඩීම සිදුවන්නේ අවශේෂ ගුණ ධර්ම දියුණු වීමට සමගාමී වීම බව පැහැදිලි කිරීම. 04. පරතෝ ඝෝෂය සහ යෝනිසෝමනසිකාරය තුලින් සම්මා දිට්ඨිය ඇතිවෙන ආකාරය. 05. සම්මා වායාමය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කිරීම. 06. බොහෝ පෘථග්ජන සිත් තුල ‘සම්මා වායාම’ කියා ‘මිච්ඡා වායාම’ ඇතිවන ආකාරය පෙන්වා දීම. 07. සම්මා සතිය කුමක්ද සහ එය සම්මා සමාධියට හේතු වෙන ආකාරය පැහැදිලි කිරීම යන කරුණු නිසාවෙනි.
    ‘මහා චත්තාරීසක සූත්‍රය’ යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  22. දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීම. (01-01-2023):
    දමනය කළ සිතක් පවත්වා ගැනීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝජනවත් දේශනාවක් වන්නේ එමගින් පහත දැක්වෙන කරුණු පැහැදිලි කෙරෙන නිසාවෙනි. 01. සිතේ ස්වභාවය විස්තර කරමින් සිත දමනය සහ පිරිසිදු කරනවා යන්න කුමක්දැයි පැහැදිලි කිරීම. 02. දුකට හේතු වෙන නාම රූප ධර්ම පාලනය කරනවා කියන්නේ කුමක් ද යන්න පැහැදිලි කිරීම. 03. හික්මීම සහ සංවරයේ ඇති වෙනස සහ ඒ තත්වයන් ඇති කරගන්නා ආකාරයන් පැහැදිලි කිරීම. 04. සති සම්පජඤ්ඤය සහ ප්‍රඥාව දියුණු කිරීමේ වැදගත් කම පැහැදිලි කිරීම. 05. විශේෂ කෞශල්‍යයන් වන අභිඥා පිලිබඳ පැහැදිලි කිරීම. 06. සිහිය, ප්‍රඥාව සහ වීර්යයේ ඇති වටිනාකම පැහැදිලි කිරීම.
    “දමනය කළ සිතක් පවත්වා ගැනීම” පිලිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  23. මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය. (08-01-2023): 
    මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව නිවන් සාක්‍ෂාත් කර ගැනීම පිණිස පුහුණු වෙන යෝගාවචරයන් හට ඉතා වටිනා දේශනාවක් වන්නේ එමගින් පහත දැක්වෙන මූලික කරුණු පැහැදිලි කෙරෙන නිසාවෙනි.  01. විපස්සනා ඥාන වල පස් වන ඥානය වන මෙය පිළිබඳව එනම් ‘ නිවන් ලබා ගැනීමේ නිවැරදි මග සහ වැරදි මග’ කුමක්දැයි තේරුම් ගන්නා මෙම කඩඉම ගැන මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වී තිබීම.  02.විපස්සනා යෝගාවචරයාගේ දියුණුව නිසාම ඇතිවන තත්වයන් කෙරේ පහල වන ‘නිකන්තිය’ ඇතිවන සහ එයට හසු වෙන ආකාරය පැහැදිලි කිරීම.  03. එම නිකන්තියට හසු නොවන්නට සහ එම විශුද්ධිය ලැබීම සඳහා වැඩි දියුණු කල යුතු කර්මස්ථානය වන ඝන සංඥාව නැති කරමින් අනිත්‍ය සංඥාව දියුණු කරගන්නා ආකරය සවිස්තරව, ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කිරීම.
    “මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය” පිළිබඳ ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  24. දුක, මම, ලෝකය සහ අතරමං වීම. (16-01-2023):
    ක, මම, ලෝකය සහ අතරමං වීම යන මාතෘකාව ඇසුරු කර ගනිමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සුවිශේෂ වැදගත් කමකින් යුතු වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි. 01. එකිනෙකට සම්බන්ධයක් නොමැති සේ මතුපිටින් පෙනෙන මෙම කරුණු එනම් දුක, මම, ලෝකය සහ අතරමං වීම යන ඒවායේ ඇති අන්තර් සම්බන්ධතාවය සහ බැඳීම තේරුම් ගැනීම දුක නැති කරන ගමනේ යෙදී සිටින සැමට ඉතා වැදගත් කරුණු වේ. 02. සියලු සංස්කාරයන්ගේ ඇති දුක්ඛ ලක්‍ෂණය වේදනාව තුලින් නොමැතිව ආර්ය දේශනාවේ දක්වා ඇති නිවැරදි ආකාරයෙන් පැහැදිලි කිරීම. 03. දුකේ පැතිකඩ තුනක් වශයෙන් දුක්ඛ ලක්‍ෂණය, දුක්ඛ වේදනාව සහ දෝමනස්සය පිළිබඳව පැහැදිලි කිරීම. 04. අනිත්‍ය නිවැරදිව තේරුම් ගැනීම සඳහා ප්‍රඥප්තියේ (පීරිසිය, අග්ගලා ගෙඩිය සහ මිනිසා වැනි ඝන සංඥා) අනිත්‍ය දැකීම පසුකර, නම රූප ධර්ම වල අනිත්‍ය දැකීමට විපස්සනා නුවණ දියුණු කර ගැනීමේ අවශ්‍ය තාවය. 05. නිබ්බින්‍දති යන වචනයේ තේරුම නිවීමට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කිරීම. 06. ආර්ය දුක්ඛ ලක්‍ෂණය නොපෙනීම නිසා මම සහ ලෝකය යන සම්මුති තුල සත්වයා අතරමන් වෙන ආකාරය.
    “දුක, මම, ලෝකය සහ අතරමං වීම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

  25. සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු (06-03-2023):  සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සුවිශේෂ වැදගත් කමකින් යුතු වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.  01. සිතුවිලි ඇති වෙනවා යන්න කුමක්ද යන්න මුලින්ම බුදු දහමට අනුව පහදා දීම.  02. කුසල සහ අකුසල මූලික සිත් ඇති වෙන සහ වෙනස් වෙන ආකාරය පහදා දීම.  03. අප දකින, ඇසෙන, දැනෙන දේ පිළිබඳව තීරණ ගන්නා ආකාරය.  04. යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය යන්න ගැඹුරින් සහ ප්‍රායෝගිකව පහදා දීම.  05. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලස පිළිබඳව ධ්‍යාන ලාභී වර්ථමාන භිෂුන් වහන්සේ කෙනෙකු ගේ සත්‍ය උදාහරණයක් තුලින් පැහැදිලි කිරීම.  06. “මම” යන ලෝකය අප නිර්මාණය කරගන්නා ආකාරය.  07. සම්මා සතිය සහ යෝනිසෝමනසිකාරය තුලින් අපගේ සිතුවිලි වලින් ඇති වෙන පටලැවිල්ල ලිහෙන ආකාරය.
    “සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.