Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09

Dayaka Dhamma Talks – 09Dayaka Dhamma Talks – 09, මෙහි නව වන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.


  1. ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම. (29-11-2023): ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව වටිනා ධර්ම දේශනාවකි. මෙම දේශනාවේ විශේෂ වැදගත්කමක් ඇතිවෙන එක හේතුවක් වන්නේ ප්‍රිය විප්‍රයෝගය යනු බුදුදහමට අනුව අප ප්‍රිය කරන පුද්ගල, අවස්ථා, තනතුරු , ද්‍රව්‍ය, ස්ථාන යනාදී ඕනෑම දෙයකින් වෙන්වීමේ දී ඇතිවන දුක ලෙසට පෙන්වා දීම වේ.අපගේ ඇලීම් සහ ගැටීම් ඇතිවෙන අනුසය කෙලෙස් අනාගාමී තත්වය දක්වා ප්‍රහාණය නොවූවත් එම තත්වයට පෙරම මනස පුහුණු කළ හැකි සහ කල යුතු ක්‍රමවේදයක් මෙහි දී පැහැදිලි කෙරේ. එය එසේ අපට කල හැකි බව පෙන්වා දීමට ප්‍රායෝගික වටිනාකමක් ඇති බුද්ධකාලීන සහ වර්ථමාන උදාහාරන මෙම දේශනාවේ ඇතුලත් වේ.
    “ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  2.  අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම. (02-12-2023): අත්හැරීම ගැන බොදුනුවන් බොහෝ දෙනෙකු තුල පවතින වැරදි වටහා ගැනීම ඇතිවෙන ආකාරයත්, අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම ගැනත් ඉතා විශිෂ්ඨ ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකෙරිණි.  වංචක ධර්ම වලට හසු වීමෙන් ඇතිවෙන දුබල මානසික තත්වයන් අප විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කල අත්හැරීම ලෙස පටලවා ගන්නා ආකාරය මෙම දේශනාවේ දී ඉතා මනා ලෙස පැහැදිලි කෙරේ.  නිවන් දැකීමට විශේෂයෙන්ම අවශ්‍ය වන මේ අත්හැරීමේ ගුණය නිවැරදිව හඳුනා ගැනීමත් එය අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන ආකාරයත් මෙහිදී ගැඹුරින් පැහැදිලි කෙරේ.
    “අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  3. සතිය සහ සම්පජඤ්ඤය. (16-12-2023): සතිය සහ සම්පජඤ්ඤය එදිනෙදා ජීවිතයේ දී පුහුණු කරමින් දහම් මග දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකරන ලදී.  මෙහිදී සතිය සහ සම්පජඤ්ඤය යනු කුමක් ද සහ එහි ගුණාංග පැහැදිලි කෙරිණි. එමෙන්ම සිහිය ඒකාග්‍රතාවය දියුණු වෙන ආකාරයටත් ප්‍රඥාව දියුණු වෙන ආකාරයටත් යන දෙයාකාරයට දියුණු කරන්නේ කෙසේ දැයි මෙහි දී පැහැදිලි කෙරිණි. මෙම වටිනා ධර්ම දේශනාවේ දී විශේෂයෙන්ම සතිය, සම්පජඤ්ඤය හෙවත් ප්‍රඥාව දියුණු කරන ආකාරය පැහැදිලි කෙරිණි.  එමෙන්ම සතිය පිළිබඳව මෙම කාලයේ පවතින ඇතැම් වැරදි අදහස් සහ ආකල්ප මෙහිදී නිවැරදි කෙරිණි.
    සතිය සහ සම්පජඤ්ඤය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  4. සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම. (17-12-2023): සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම පිළිබඳව විශිෂ්ඨ ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකරන ලදී. සිත කිලිටි වීම සහ පිරිසිදු කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කල ඉතා වටිනා විවරණයක් ඇසුරෙන් සිදුකල මෙම ධර්ම දේශනාවේ දී චිත්ත භාවනාව හෙවත් සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවෙන් සිදුවෙන සිත පිරිසිදු කිරීම ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරේ.
    එමෙන්ම පෘථග්ජනයා යනු කවරේද සහ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා යනු කවරේද යන්න පැහැදිලි කිරීම තුලින් අප බොහෝ දෙනා දහම් මාර්ගයේ සිටින තැන පිලිබඳව අවංක, පැහැදිලි වැටහීමක් ඇතිකර ගැනීමට මෙම දේශනාව ඉවහල් වේ. ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා සතිය සහ සම්පජඤ්ඤය නිරතුරුව දියුණු කර ගනිමින් හැකි අයුරින් දවස පුරා සිත පිරිසිදු කරන්නේ කෙලෙස දැයි මෙහිදී ගැඹුරින් පැහැදිලි කෙරේ.
    “සිත කිලිටි වීම සහ සිත පිරිසිදු කිරීම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  5. චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය. (20-12-2023): චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ සියැස රූපවාහිනිය තුලින් සිදුකල සේක. දේශනාවේ ආරම්භයේ දීම සත්‍යය, සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය වශයෙන් වෙන් කිරීම තුලින් නිවන සහ චතුරාර්‍ය්‍ය සත්‍ය පැහැදිලි කිරීම සඳහා ඉතා ශක්තිමත් ආරම්භයක් ඇති කෙරිණි. ඒ තුලින් අවිධ්‍යාව නිසා දුක හට ගන්නා අයුරු මනා ලෙස පැහැදිලි කෙරිණි.
    එමෙන්ම පෘතග්ජනයන් වේදනාව තුලින් දුක හඳුනා ගන්නා බව නිසා සුඛය කෙරේ තණ්හාවක් ඇතිකර ගනිමින් නිරන්තර භව ගමන පෝෂණය කරන ආකාරයත්, ආර්ය භූමියට ඇතුල් වූ උතුමන් තුල දුක පිලිබඳ අවබෝධයේ ඇතිවෙන විශේෂ වෙනස් වීමත් මෙහිදී පැහැදිලි කෙරේ.
    “චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  6. පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය. (21-12-2023): නිවැරදි පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය පිලිබඳ වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ සියැස රූපවාහිනිය තුලින් දේශනා කල සේක. මෙහි දී කුඩා කැට කුරුල්ලෙකු රුදුරු උකුස්සෙකුගෙන් ජීවිතය ආරක්‍ෂා කරගත් ආකාරය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ අපට අගෝචර තැන් ඇසුරු නොකරමින් සිටීම තුලින් මාරයාගෙන් ගැලවීමට හැකිවෙන බව පැහැදිලි කරන සේක.  එසේ දැක්වෙන බුදු පියාණන්ගේ නිවැරදි පිය උරුමය වන සතර සතිපට්ඨානය කුමක්ද සහ එය වර්ධනය කරන ආකාරය මෙහි දී පැහැදිලි කෙරේ.
    “පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  7. සම්මා දිට්ඨිය. (25-12- 2017): සම්මා දිට්ඨිය පිලිබඳ ඉතා විශිෂ්ඨ ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දායක නිවසක දී සිදු කරන ලදී. දැනට වසර පහකට පෙර සිදුකල එම දේශනාව නැවත වතාවක් මෙහි දී පළකරන්නේ එහි ඇති අප දැනගත යුතු ඉතා වටිනා කරුණු නිසාවෙනි.
    ආශ්‍රව යනු මොනවා ද සහ එම ආශ්‍රව අඩුවීම සම්මා දිට්ඨිය, විශේෂයෙන්ම ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩි දියුණු වීමට හේතුවෙන ආකාරයත් මෙහි දී පැහැදිලි කෙරේ. සම්මා දිට්ඨියේ ලෞකික සහ ලෝකෝත්තර යන දෙයාකාරය පැහැදිලි කෙරෙනුයේ වර්ථමානයේ භාවනා යෝගීව දහම් මග ප්‍රගුණ කිරීමට වෑයම් කරන පිරිසට ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමේ පදනමක් ලෙසිනි.
    එහි දී වත්මන් සමාජයේ ඇතැම් භාවනාවට යොමුවෙන පිරිස් විසින් ලෞකික සම්මා දිට්ඨිය පහත් කොට, එය අවශ්‍ය නොවන්නක් ලෙස සැලකීම සම්මා දිට්ඨියේ පිරිහීමක් බව ඉතා වටිනා ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කෙරේ. යමෙක් තුල ලෝකෝත්තර සම්මා දිට්ඨිය දියුණු වන විට ඔහුගේ/ඇයගේ සක්කාය දිට්ඨිය දුබල වෙමින් එය නැතිවීමේ දිශාවට ප්‍රගමනය විය යුතුවේ. යමෙක් තවකෙක් පහත් කර සැලකීමේ දී ඔහුගේ සක්කාය දිට්ඨිය තව තවත් ශක්තිමත් වීම සිදුවෙනවා පමණක් නොව සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන “සබ්බ පාපස්ස අකරනං…” යන අවවාදයට පටහැනිව ක්‍රියා කරන්නෙක් වේ. එවන් අයගේ දිට්ඨිය හෙවත් දැකීම පිරිහේ.
    එමන්ම ආශ්වාද, ආදීනව සහ නිස්සරණ පිළිබඳව ද ඉතා වටිනා කරුණු රැසක් මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.
    සම්මා දිට්ඨිය ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  8. නිවනට අවශ්‍ය පියවර දැක්වෙන තයොධම්‌ම සූත්‍රය. (31-12-2023): නිවනට ලඟා වීමට ඇති නොවරදින කඩඉමක් ලෙස සැලකෙන සෝවාන් වීම, බෞධයන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑ කමින් ලඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්වයකි. සෝවාන් වීම පිලිබඳව අප බොහෝ දෙනා දන්නා කරුණක් නම් එය ලබා ගැනීමට නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසය යන කරුණු තුන ප්‍රහාණය කලයුතු බවයි. එනමුත් එයට පෙර සෝවාන් වීම සඳහා අප විසින් සපුරා ගතයුතු තවත් කරුණු විසි හතරක් ඇතිබව බුදුරජාණන් වහන්සේ විසින් තයොධම්‌ම සූත්‍රයෙන් දේශනා කරන ලදී.
    අප බොහෝ දෙනා නොදන්නා සෝවාන් වීම පිලිබඳ එම කරුණු ගැන ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  ජාතිය, ජරාව හා මරණය නැති කරන නිවන සාක්‍ෂාත් කර ගැනීමට කරුණු තුන බැගින් ඇති පියවර දහයක් මෙම විශිෂ්ඨ ධර්ම දේශනාවේ දී හෙළි දැක්වේ.  එමෙන්ම එම කරුණු තිහක් වන පියවර දහය කෙටි වගුවක්/ සටහනක් ලෙසටද මෙම වෙබ් පිටුවේ දක්වා ඇත.
    නිවනට අවශ්‍ය පියවර දැක්වෙන තයොධම්‌ම සූත්‍රය යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  9. මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද? (12-01-2024): මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදු කරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ අපට අපගේ මරණය ගැන සිතීමේ දී ඇතිවෙන මූලිකව බියවෙන සහ අසරණ වෙන ප්‍රධාන කරුණු එකිනෙක විමසුමට ලක් කෙරෙමින් ඒවායින් මිදීමට අවශ්‍ය පුහුණුව පැහැදිලි කිරීමයි.
    එමෙන්ම මරණ මංචකයට පෙර එම පුහුණුව හොඳින් සිදුකර ගැනීමේ අත්‍යාවශ්‍යතාවය දේශනාවෙන් අවධාරණය කෙරේ. එමෙන්ම මරණය ඉදිරියේ අසරණ නොවීමට ඔබට භාවනාවෙන් හැකිවේයැයි සිතනවානම් ඒ සඳහා භාවනාව කෙතරම් දියුණු විය යුතු දැයි මෙහි දී පහදා දේ.
    එපමණක් නොව ඔබගේ මරණයෙන් පසු ඔබ බලාපොරොත්තු වෙන යහපත් නව උපතක් ලබා ගැනීමට වර්තමානයේ දී දියුණු කල යුතු විශේෂ ක්‍රමවේදයක් ද මෙහි දී පැහැදිලි කෙරේ.
    “මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද?” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  10. මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම (16-01-2024): මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවක් වන්නේ මෙම ප්‍රධාන කරුණු නිසාවෙනි; 1. මිනිස් උපතක් ලබා ගැනීම එම දිවියෙන් පිරිහුණ සත්වයන්ට කෙතරම් අපහසු දැයි පැහැදිලි කිරීම. 2. සත්වයන්ට මිනිස් උපතක් ලබා ගැනීම ඉතා වටිනා වන්නේ මන්දැයි පැහැදිලි කිරීම. 3. ඔබ අප ලද මනුෂ්‍ය ජීවිතය නොපිරිහී, තව තවත් දියුණු වෙමින් බුදු, පසේ බුදු සහ ශ්‍රාවක ආකාරයකින් නිවන් දැකීමට අවශ්‍ය වෙන පාරමිතා පිළිබඳව සිදු කෙරෙන මනා වූ පැහැදිලි කිරීම. 04. අප එදිනෙදා ගත කරන ජීවිතයේ දී ඇතිවෙන ජීවන ගැටළු වලට ප්‍රතිචාර දක්වන ආකාරය මත අපගේ මරණ මොහොතේ සිත සකස් වීමට බොහෝ හැකියාවක් ඇති බැවින් ප්‍රායෝගිකව මොහොතින් මොහොත අපගේ සිත පිරිසිදු කර ගැනීමේ අත්‍යාවශ්‍යතාවයත්, එවන් දියුණු කල හැකියාවක් තුලින් අප ජීවිත විශේෂභාගී ජීවිත වෙන අකාරයත් පහදා දීම. 05. අපගේ උපන්දිනයන් සැමරීම සිදුකල යුතු නියම ආකාරය පැහැදිලි කිරීම.
    “මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  11. දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස දැක්වෙන සොතානුධත සූත්‍රය. (24-01-2024): නිවැරදිව දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස දැක්වෙන සොතානුධත සූත්‍රය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදු කරන ලදී.
    නිවැරදිව දහම් ශ්‍රවණ කිරීමත්, ප්‍රගුණ කිරීමත් යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද සහ එහි ආනිසංස වශයෙන් මෙලොව දී ආර්ය භූමියට පත්වීමට නොහැකි වූවොත් මෙලොවින් චුත වී දෙව්ලොව ආත්ම භාවයක් ලබා එහි දී ආර්ය භූමියට පත්වෙන ආකාරය මෙම වටිනා දේශනාවෙන් පැහැදිලි කෙරේ.
    “දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස දැක්වෙන සොතානුධත සූත්‍රය” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  12. අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම. (16-02-2024): අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම යන විශිෂ්ඨ ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදු කරන ලදී. මෙම ධර්ම දේශනාවට කිහිප වාරයක් සවන්දීම වැදගත් වන්නේ ඒ තුලින් මෙම මාතෘකාවේ දැක්වෙන කරුණට අමතරව ඉතා වටිනා කරුණු රැසකට අපව යොමු කෙරෙන බැවිනි.
    අප බොහෝ දෙනෙක් නිවැරදිව තේරුම් ගෙන නැති ‘බහු හේතුන් නිසා ඵලයන් සිදුවෙන බව’, බොහෝ දෙනා ජීවන දැක්මක් ලෙස ගෙන ඇති ‘ජීවිතය ඇත්තේ විඳවන්නට නොව විඳින්නටයි’ යන මතයේ ඇති මුලාව සහ සාවද්‍ය බව, ‘සියල්ල සිත මත රඳා පවතිනවා’ යන මතයේ සාවද්‍ය බව සහ ‘දුක ඇති වන්නේ අකුසල කර්මයන් නිසා’ යන මතයේ සාවද්‍ය බව එවන් වටිනා කරුණු රැසකි.
    “අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  13. තමන් රැක ගැනීම. (17-02-2024): තමන් රැක ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වැදගත් වේ.
    මුදල් රැස් කර ගනිමින් යාන, වාහන සහ නිවාස ඇතුව ජීවත් වූ පමණින් අප අපව රැක ගැනීම සිදු නොකරන බවත් ඒ සඳහා සියළු බුදුරජාණන් වහන්සේලා විසින් පෙන්වා දුන් කරුණු තුනක් ජීවිතයේ ඕනෑම වයසක දී ප්‍රගුණ කල යුතු බව මෙම ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ.
    එමෙන්ම එම හැකියාවන් ප්‍රායෝගිකව දියුණු කල යුතු ආකාරය පැහැදිලි කෙරෙන්නේ ඒවා ප්‍රගුණ කිරීමේ දී ඇතිවෙන බාධක අභිබවා යන ආකාරයන් දක්වමිනි. එබැවින් මෙම ධර්ම දේශනාව බාල, මහළු සෑම දෙනා හටම ඉතා වටිනා මග පෙන්වීමක් වන්නේය.
    “තමන් රැක ගැනීම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
     
  14. නිරන්තරයෙන් සිත පිරිසිදු කිරීමේ වටිනාකම. (19-02-2024): සිත පිරිසිදු කිරීම කොතරම් වටිනා කරුණක් වන්නේද යන්න පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා දක්‍ෂ ආකාරයෙන් සිදුකල වටිනා දහම් විවරණයකි.
    හිතවත් දායකයකු වූ දීප්ති මහතාගේ අභාවය පිළිබඳව සිදුකල මෙම දේශනාවෙන් සිත පිරිසිදු කරගැනීම පිළිබඳව වැදගත් අංශ දෙකක් ඇසුරින් පැහැදිලි කෙරිණි. පළමුව මියගිය කෙනාගේ ගුණ ඇසුරින් සසර ගමනට උදවු වෙන කුසල් තුලින් සත්පුරුෂ මනසක ස්වභාවය පැහැදිලි කෙරිණි. දෙවනුව දේශනාවේ අවසාන භාගයේ දී ලෝක ධර්මතා කෙරේ අකම්පිත මනසක් ඇතිකර ගන්නා ලෙස සිත පිරිසිදු කරමින් දියුණු කරගන්න ආකාරය පැහැදිලි කෙරිණි.
    එමෙන්ම ධර්ම දේශනාව තුලින් ශ්‍රාවකයාගේ මනස ක්‍රමිකව මරණයේ නියම ස්වභාවය දැන ගැනීමෙන් සහ සංසාරයේ චක්‍රීය ස්වභාවය දැන ගැනීමත් තුලින් ප්‍රඥා ඇස උපදවා ගැනීමට යම් මහඟු අවස්ථාවක් සලසා දේ. ඒ තුලින් අප සියලු දෙනා තුල මරණය පිළිබඳව ඇතිවෙන ද්වේශය නැති කර ගැනීමට හැකි වීම මෙම දේශනාවේ ඇති සුවිශේෂ වටිනා කමකි.
    එමෙන්ම බෞධයෙකු ලෙස නිරන්තරයෙන් සිත පිරිසිදු කිරීමේ වැදගත් කමත්, එය නිවන් දක්නා අවස්ථාව දක්වා බලගතු ශක්තියක් සහ එක්තරා ආකාරයක ප්‍රාර්ථනාවක් ලෙස ප්‍රගුණ කිරීමේ වැදගත් කමත් මේ තුලින් අපට පැහැදිලි වේ.
    “නිරන්තරයෙන් සිත පිරිසිදු කිරීමේ වටිනාකම” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  15. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට කෙසේ කටයුතු කළ යුතු ද? (23-02-2024): ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම පිලිබඳ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව තුලින් මේ ජීවිතයේ දී සහ සසරේ දී ඉමහත් වටිනා ප්‍රතිඵල ලබා ගත හැකි ක්‍රමවේදයක් සහ පුහුණුවක් පැහැදිලි කෙරේ.
    අප මෙම පුහුණුව දියුණු කරන ප්‍රමාණය මත මේ ජීවිතයේ උතුම් සතුටක් ලබන දියුණු මනසක් අත්කර ගැනීම හෝ මේ ජීවිතය තුල දීම නිවන් දැකීම හෝ යන ඉහල ප්‍රතිලාභ අත්විඳීමට අපට හැකි වේ. එමෙන්ම නිවනින් මෙපිට සසර ගමන පහසු කිරීමට සහ කෙටි කිරීමට උදවු වෙන බොහෝ කුසල් රැස්වීම පිණිස ද මෙම පුහුණුව මහෝපකාරී වේ.
    මෙම වටිනා ධර්ම දේශනාවේ දී ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට සමථ සහ විදර්ශනා භාවනා ක්‍රම දෙක තුලින්ම පුහුණුවේ යෙදෙන ආකාරය විචිත්‍රවත් ආකාරයෙන් පැහැදිලි කර තිබේ.
    “ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීමට කෙසේ කටයුතු කළ යුතු ද?” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  16. කරණීය මෙත්ත සූත්‍රය. (30-03-2024): කරණීය මෙත්ත සූත්‍රය පිලිබඳ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව තුලින් නිවන් දැකීමට උත්සුක වන්නා වූ කෙනෙකු විසින් ප්‍රගුණ කල යුතු ගුණ ධර්ම 15 ක් සහ මෛත්‍රිය දියුණු කිරීම පැහැදිලි කෙරේ.
    “කරණීය මෙත්ත සූත්‍රය” ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  17. පංචසීලය සුරැකීමේ සහ කුසල කර්මයන්හි නියැළීමේ අනිසංස. (07-04-2024): පංචසීලය සුරැකීමේ සහ කුසල කර්මයන්හි නියැළීමේ අනිසංස යන මෙම වටිනා, කාලීන ධර්ම දේශනාව තුලින් නව සිංහල අවුරුදක් උදාවෙන මෙම කාලයට සුවිශේෂී ප්‍රයෝගික වටිනා කමක් එකතු කෙරේ.
    අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ මෙහි දී පංච ශීලය සහ කර්මයන් අතර ඇති අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්නේ මිනිසාගේ මෙලොව පරලොව ජීවිත වලට ඒවා බලපාන ආකාරයත් සහ විශේෂයෙන්ම ශීලයට මුල් වන මනසේ පිරිසිදු භාවය මෙහෙයවීම තුලින් මෙලොව පරලොව ජීවිත සුවපත් කරගන්නා ආකාරයත් දේශනා කිරීමෙනි.
    එමෙන්ම අපගේ මානසික, වාචසික තත්වයේ යහපත් හෝ අයහපත් බව අපගේ නිවසේ අයටත්, මුළු රටටත්, අජීවී පරිසරයටත් පවා බලපාන ආකාරය නවීන විද්‍යාත්මක පර්යේෂණ දත්ත ඇසුරු කර ගනිමින් පැහැදිලි කිරීම මෙම දේශනාවේ ඇති තවත් විශේෂත්වයකි. එමෙන්ම පංච ශීලය නිවැරදිව සිදු කිරීමේ දී නොකළ යුතු කොටස සහ කල යුතු කොටස යන දෙකොටසම සිදු කිරීමෙන් අප මුළු ලෝකයටම ශාන්තියක් වෙන ආකාරය පැහැදිලි කෙරිණි.
    පංචසීලය සුරැකීමේ සහ කුසල කර්මයන්හි නියැළීමේ අනිසංස ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  18. ක්‍ෂණ සම්පත්තිය. (10-04-2024): ක්‍ෂණ සම්පත්තිය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදු කරන ලදී. අප්‍රමාද වෙමින් එළඹෙන ක්‍ෂණයන් නිවැරදි ආකාරයෙන් සම්පත්තියක් ලෙස යොදා ගන්නා ආකාරය මෙහි දී පැහැදිලි කෙරේ.
    එමෙන්ම එළඹෙන ක්‍ෂණය අප්‍රමාදීව ගත කිරීමේ අවශ්‍යතාවය ලොව්තුරා බුදු රජාණන් වහන්සේ විසින් දිනපතා භික්ෂුන් වහන්සේලා ඇතුළු සියළු ශ්‍රාවකයන් හට ලබා දුන් මූලිකම අවවාදයක් වේ.
    “ක්‍ෂණ සම්පත්තිය” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  19. පාරමිතා යනු කුමක්ද සහ එම පාරමිතා දියුණු කරගන්නේ කෙසේද? (21-04-2024): අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රුපවාහිනී මාධ්‍ය තුලින් සිදු කෙරෙන දස පාරමිතා පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක ආරම්භක ධර්ම දේශනාව මෙය වේ.
    මෙම දේශනාව විශිෂ්ඨ දේශනාවක් වන්නේ ඒ තුලින් පාරමිතා යනු කුමක්ද සහ එම පාරමිතා දියුණු කරගන්නේ කෙසේද යන්නට අමතරව වර්ථමානයේ ඇතැම් භික්‍ෂුන් වහන්සේලා පවා සමාජයට ඉදිරිපත් කරන “ඔබට ඕනෑ මේ භවයේ නිවන් දැකීමට නම් පාරමිතා දියුණු කිරීම අවශ්‍ය නොවේ” යන මතය සමාජය නොමගට යැවෙන මතයක් බව පෙන්වා දෙන බැවිනි.
    මෙම වටිනා ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
  20. දාන පාරමිතාව – 01 වන දේශනය. (22-04-2024): දාන පාරමිතාව පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදු කෙරුණු මෙම ධර්ම දේශනාව දස පාරමිතා පිලිබඳව සියැස රුපවාහිනී මාධ්‍ය තුලින් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනාව වේ.
    දාන පාරමිතාව යනු කරුණාව සහ උපාය කෞශල්‍යයෙන් යුතුව තමා සන්තක දේ අනුන්ගේ යහපත පිණිස පරිත්‍යාග කිරීමේ චේතනාව වේ යන පාඨය පෙරදැරි කරගෙන මෙම වටිනා ධර්ම දේශනාව ආරම්භ වේ. එහිදී පාරමිතා යනු කවරේ ද, දාන පාරමිතාව කෙසේ සම්පාදනය කරගත යුතු වේ ද, දාන පාරමිතාව සම්පුර්ණ කර ගැනීමට අවශ්‍ය සාධක මොනවා ද, ඒ සඳහා පවතින බාධක මොනවා ද, බාධක දුරු කරමින් සාධක ගොනු කරමින් උපාය කෞශල්‍යයෙන් යුක්තව දාන පාරමිතාව සම්පාදනය කල යුතු ආකාරය මෙහි දී පැහැදිලි කෙරේ.
    එමෙන්ම මෙම වටිනා දේශනාව තුලින් ගුණය සහ නුවණ වැඩෙන ආකාරයට ප්‍රඥා සම්පන්න ලෙස දානයන් දීමත් පැහැදිලි කෙරේ.
    දාන පාරමිතාව – 01 ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.