බුදුරජාණන්වහන්සේ දේශනා කල සතිය සහ වර්ථමානයේ ප්‍රචලිත සතිය/mindfulness අතර ඇති වැදගත් වෙනස්කම්.

බුදුරජාණන්වහන්සේ දේශනා කල සතිය පැවැත්වීම සහ වර්ථමානයේ ප්‍රචලිත සතිය/mindfulness අතර වෙනස පිළිබඳ දැනුවත්වීම මේ කාලයේ ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම භාවනා මගට පිවිසෙන සෑම බෞද්ධයෙක්ටම එය වැදගත් වන්නේ ඒ වෙනස පිළිබඳව පැහැදිලි දැක්මක් හෝ අවබෝධයක් බොහෝ දෙනාට නොමැති බැවිනි. මෙම කෙටි දහම් විමසුම තුලින් එවැනි අවබෝධයක් ඇති කිරීමට අදහස් කරන්නෙමු. 

අප බොහෝ දෙනා දන්නා කරුණු වලින් ආරම්භ කොට බොහෝ දෙනා නොදැන සිටිනා සියුම් කරුණු සහ වෙනස්කම් මෙහිදී ඉදිරිපත් කරන්නෙමු. මේ සඳහා අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා වලින් උපුටා ගත් දහම් ඛණ්ඩයන් මූලිකව යොදා ගන්නෙමු.

  1. ශීලයේ වැදගත්කම ආරම්භයේ සිටමබුදුරජාණන් වහන්සේ සිහිය පැවැත්වීමේ පුහුණුවේ වැදගත් අඩිතාලමක් ලෙස ශීලය හදුන්වා දුන් සේක.  ඒ තුලින් කය සහ වචනයේ ශික්‍ෂණයක් සහ සංවර භාවයක් ඇතිවෙනවා. එනම් නොකළයුතු දේ නොකර සිටීම සහ කලයුතු දේ කිරීම, නොකිය යුතු දේ නොකියා සිටීම සහ කියයුතු දේ කීම ශීලය පිළිබඳව ඇති මුලික ශික්‍ෂණයයි. ශීල ශික්‍ෂණයෙන් ශීල සංවරයට පැමිණීමෙන් මානසික සංවරය ඇතිවේ. එම මානසික සංවරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතිය ඇතිකර ගැනීමට අවශ්‍ය මූලික කාරණයකි.  එබඳු ශීලයක අවශ්‍යතාවක් වර්ථමානයේ ප්‍රචලිත සතිය/mindfulness වල දැක්වෙන්නේ නැත. මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් අෂ්ටාංග උපෝසථ ශීලය සමාදම් වූ පිරිසකට Zoom තාක්‍ෂණයෙන් දේශනා කල මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.
    ***ශීල ශික්‍ෂණයෙන් ශීල සංවරයට පැමිණීමේ වැදගත්කම. (විනාඩි 14)
  2. වර්තමානයේ සිත පැවැත්වූ පමණින් එය බුදු දහමට එකඟ සතිය නොවේ. සමාජයේ ප්‍රචලිත සතිය/mindfulness ක්‍රමවේද වල වැදගත්ම පුහුණුව සහ ක්‍රමවේදය වන්නේ වර්ථමානය තුල සිහිය පැවැත්වීමට ඉගැන්වීමයි. ඒ සඳහා එම ඉගැන්වීම් තුල ”සති ක්‍රීඩා” සහ ”සති ක්‍රියා” සමග එදිනෙදා ජීවිතයේ කෙරෙන කාර්යයන් තුල සිහිය පැවැත්වීමට ඉගැන්වීම ඉදිරිපත් කෙරේ. එයට අමතරව ඇතැම් ක්‍රමවේද වලදී ඔවුන් පර්යංක භාවනාව (ආනාපානසතිය) සහ සක්මන් භාවනාවද හඳුන්වා දෙති. එනමුත් පුහුණුවේ යෙදෙන බොහෝ දෙනා යෝග ව්‍යායාම් ආදී ”සති ක්‍රියා” සහ ”සති ක්‍රීඩා” වලට වැඩි ඇල්මක් දක්වන්නේ භාවනාවේ ආරම්භයේ ඇතිවන ඒකාකාරී බැවින් මිදීමට ඒවා උදව් වෙන බැවිනි. එනමුදු වර්ථමානයේ සිත පැවැත්වූ පමණින්ම එය බුදු දහමට එකඟ සතිය නොවේ. ඒ මන්ද යත් හැගීම්වලට වහල්වී හෝ ඒවා තුල ගැලී හෝ වර්ථමානය තුල සිත පවත්වා ගත හැකි බැවිනි උදාහරණයක් ලෙස දැන් කාලයේ ප්‍රචලිත වර්ථමානයේ සිහිය පැවැත්වීමට අනුව යම් කෙනෙකුට මුළුතැන්ගෙයි පලාකොළ කැපීමේදී ඒ කාර්යයට සිහිය පැවැත්වීම පුහුණු කිරීම වෙනවා.  එවිට ඒ පිළිබඳව තණ්හාවකින් උවද වර්ථමානයේ සිත පිහිටුවීම සිදුකල හැක. එමෙන්ම ඒ කාර්ය තුලට නිමග්නවී සිදුකරනවිට එයට බාධා සිදුවීමක් ඇතිවුවොත් ඒ අය හෝ දේවල් හෝ සමග ගැටීමක් පවා ඇතිවිය හැකිය.
    එහෙත් බුද්ධ ධර්මයේ සඳහන් සතිය පැවැත්වීමේදී ඒ මොහොතේ ඇතිවන ඇලීම් සහ ගැටීම් හඳුනා ගැනීමින් විපස්සනාව සිදුවේ. ඒ තුලින් තණ්හාව නිසා ඇතිවන හේතු ඵල සම්බන්ධතාවය ටිකෙන් ටික තේරුම් ගැනීමක් සිදු වේ.
    මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශිත මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.`
    *** වර්ථමානයේ සිත පැවැත්වූ පමණින් එය බුදු දහමට එකඟ සතිය නොවේ_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. (විනාඩි 07)
  3. අතීතය සහ අනාගතය ගැන බුදු දහමට අනුව සිහිය පැවැත්වීම අතීතය සහ අනාගතය පිළිබඳව බුදු දහමට අනුව සිහිය පැවැත්වීමේදී වැදගත් ඉගැන්වීමක් සිදුවේ. ඒ අනුව පුහුණු වෙන්නාගේ මුළු ජීවිත කාලයම එක දවසකින් භාගයකින් අවසන් වූවත් භද්‍ර ලෙස සිහියෙන් සහ නුවණින් ගතකරන ආකාරය එම පුහුණුවෙන් ඉගැන්වේ. එවන් අයෙක් තණ්හා, මාන සහ දිට්ඨි වශයෙන් අතීතය සිහිකිරීම හෝ අනාගතය පිලිබඳ උපකල්පනය කිරීමක් හෝ සිදුකරන්නේ නැත.  එමෙන්ම ඔහු/ඇය මොහොතක් මොහොතක් පාසා ඇතිවන නාම, රූප ධර්ම බිඳි, බිඳී යන බව දකින නිසා එසේ අතීතය සහ අනාගතය උපාදානය කරගැනීම සිදු නොවේ. එවන් දැක්මක් හෝ වැටහීමක් වර්තමානයේ ප්‍රචලිත සතිය/mindfulness තුලින් ඇති නොවේ. මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශිත මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.
    ***
    අතීතය සහ අනාගතය ගැන බුදු දහමට අනුව සිහිය පැවැත්වීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 14)
  4. අතීතය සහ අනාගතය බුදු දහමට අනුව සිහි කිරීම අතීතය සහ අනාගතය බුදු දහමට අනුව රාග, ද්වේෂ, මෝහ තුලින් දැඩිව අල්වා ගැනීම් (උපාදාන) වලින් තොරව සිහි කිරීමට පුළුවන් බව ඉගැන්වෙනවා.  උපදානය හේතුකොට නිතර අතීතය මතක් වෙන්නේ අපගේ පරිපාලනයෙන් තොරවයි. සිහියෙන් යුතුව මතක් කිරීමේදී එය ඕනෑකමින් එය කලයුතු වේ. එමෙන්ම එය ඇලීම්, ගැටීම් වලින් තොරව සිදුකිරීමට හැකි වේ.  මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශිත මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.
    ***අතීතය සහ අනාගතය බුදු දහමට අනුව සිහි කිරීම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 15)
  5. අකුසලයෙන් සිත මුදවා කුසලයෙහි පිහිටවන ගතිය.  බුදුදහමේ සතිය ඉගැන්වීමේදී මූලික වන කරුණක් වන්නේ මෙතෙක් ලොව පහලවූ සහ පහළවීමට සිටින සියළු බුදු වරුන්ගේ ප්‍රධාන අනුශාසනාවක් වෙන ”සබ්බ පාපස්ස අකරණං…” අනුව වේ.  මෙසේ අකුසලයෙන් සිත මුදවා කුසලයෙහි පිහිට වන ස්වභාවය වර්ථමානයේ ප්‍රචලිත සතිය හෙවත් mindfulness ක්‍රමවේදයෙන් ඇතිවන්නට හැකි අවස්ථා අඩු විය හැක.  මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශිත මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.
    ***අකුසලයෙන් සිත මුදවා කුසලයෙහි පිහිට වන ගතිය_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 10).
  6. ක්‍ෂණ සම්පත්තිය හෝ ක්‍ෂණ විපත්තිය තේරුම් ගැනීමේ වැදගත් කම. වර්ථමාන මොහොත හඳුන්වා දීමට බුදු දහමේ භාවිතා කරන වචනය ‘ක්‍ෂණය’ වේ. එම ක්‍ෂණය සම්පත්තියක් හෝ විපත්තියක් හෝ කරගැනීම පිළිබඳව බුදු දහමින් අවධාරණය කරන කරුණු වර්තමානයේ ප්‍රචලිත සතිය/mindfulness තුලින් ඉදිරිපත් නොවේ.  එළඹෙන ක්‍ෂණය තමන්ට අර්ථය හෝ අනර්ථය පිණිස යොදාගන්නවාද යන්න තීරණය වන්නේ අපට ලැබී ඇති සම්පත් මේ මොහොතේ කවර ආකාරයකින් යොදා ගන්නේ දැයි කියන කාරණය මත බව බුදු දහමින් පැහැදිලි කෙරේ.  මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශිත මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.
    ක්‍ෂණ සම්පත්තිය හෝ ක්‍ෂණ විපත්තිය තේරුම් ගැනීමේ වැදගත් කම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 14).
  7. හේතු ඵල සහ ත්‍රිලක්ෂණ වශයෙන් වටහා ගැනීමට පසුබිමක් සැකසීම.  දුක නැති කිරීමට මග සලසන හේතු ඵල වශයෙන් සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය වශයෙන් වටහා ගැනීමට ඒ ආකාරයේ සතිය පිහිටවා ගැනීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කල සේක.  එවන් දැක්මක් සහ අවබෝධයක් වර්ථමානයේ ප්‍රචලිත සතිය සහ mindfulness තුලින් ඇති නොවේ.  මේ පිලිබඳ වැඩි අවබෝධයක් ඇතිකරගැනීමට අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දේශිත මෙම ධර්ම ඛණ්ඩයට සවන් දෙන්න.
    ***හේතු ඵල සහ ත්‍රිලක්ෂණ වශයෙන් හටගන්නා ආකාරය තේරුම් යෑම_අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ. (විනාඩි 02).

මේ සඳහා පාදකවූ ධර්ම දේශනා වල සම්පුර්ණ mp3 හඬපට පහතින් දැක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.