අපූරු පිංකමක්

ගසක ඇති කොළ මෙන් යෝගීන් ධර්මයට පණ පොවති.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව පවත්වන මියගිය ඥාතීන්ට කරන පිංකම් වලට වඩා වෙනස් වූ අපූර්ව ඥාති පිංකමක් ගැනයි මේ විස්තරය. එය සිදුවූයේ දොස්තර චන්දිම ද මෙල් මහතාගේ මියගිය පියාණන් සහ සිය මාමා හට සිදු කල පින්කමෙහිදීය. එය වර්ෂ 2017 මාර්තු මස 11 වෙනිදින සිදුකරන ලදී. එම පිංකම පහත සඳහන් කාරණා නිසා අපූර්වත්වයට පත්විණි.

  1. මෙම පිංකමේදී ආරම්භයේ සිට අවසානය දක්වා දිනය පුරාම දාන,සීල සහ භාවනා වැඩ සටහනක් ලෙස පැවැත්විණි.
  2. පිංකමට සහභාගී වූ ඥාතින්ද අවශේෂ ආරාධිත යෝගීන්ද සමග එදින දවස පුරාම අටසිල් සමාදන්ව භාවනානුයෝගීව ගත කළහ. 
  3. පිංකම සිදු කලේ ඔවුන් විසින්ම තනා නිම කල, ශ්‍රී ලංකාවේ හෝකන්දර පිහිටි තම පවුලේ භාවනා මධ්‍යස්ථානයේදීය.
  4. මෙම වැඩසටහන මීතිරිගල නිස්සරණවන සේනාසන ආරණ්‍යාධිපති අති පුජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙයද විශේෂ කාරණයක් වනුයේ එම ආරණ්‍යවාසි ස්වාමින්වහන්සේලා සාමාන්‍යයෙන් එවැනි මළගිය ඥාති පින්කම් වලට සහභාගීවීමෙන් වැළකී සිටීමේ සම්ප්‍රදායක් ඇති නිසාවෙනි.

අති පුජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේගේ ශාසනික සේවාවේ වැදගත් සංදිස්ථානයක් වනුයේ මෙයට වසර 12 ට පමණ පෙරදී කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයෙන් ආරම්භ කල භාවනා වැඩසටහන් මාලාවයි. උන්වහන්සේ සතිමත් බව දියුණුකරගැනීම මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ‘අප්‍රමාද ධර්මය’ ප්‍රචලිත කළහ. මේ වනවිට එමගින් ප්‍රයෝජනය ලැබූ බාල,තරුණ, මහළු සියළු පාර්ශවයන්ගෙන්ම සමන්විත විශාල පිරිසක් වෙති. ඔවුන් බොහෝ දෙනෙක් සිල්වත් භාවනානුයෝගී දිවිපෙවතක් ගතකරති. උන්වහන්සේගේ භාවනා සිසුන් බොහෝදෙනෙකුට දැන් තම නිවසේම සාදා නිමකරගත් වැලි යෙදු පිටත සක්මන් මළුවන් උරුමය. 

දොස්තර චන්දිම සහ තාරා ද මෙල් දෙපල විසින් හෝකන්දර තැනූ 40 දෙනෙකුට පමණ භාවනා කළහැකි ඇතුලත සහ පිටත සක්මන් මළු වලින් පිරිපුන් භාවනා මධ්‍යස්ථානය වර්තමානයේ සිදුවෙමින් පවතින මේ අපුර්ව ධර්ම පරම්පරාවක වැදගත් සංදිස්ථානයකි.

අති පුජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේ විසින් එදින සිදු කල භාවනා උපදෙස් සහ මතක බණ උන්වහන්සේ වෙනදා සිදුකරන දේශනාවන්ට වඩා වෙනස් වේ.  දානය, ශීලය සහ භාවනාව පිලිබඳ සාමාන්‍ය බෞධයන්හට ඉතා වැදගත් කරුණු මෙම ධර්ම දේශනාවේ ඇතුලත්වේ.


ධර්ම ඛණ්ඩ බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

වෙබ් අඩවිය තුලින් සවන් දීමට: ධර්ම ඛණ්ඩයට පහතින් ඇති ප්ලේයරයෙහි (audio player) ආරම්භයේ ඇති ඊතලය මත click කරන්න.

  1. 01. Meditation Instructions_11-03-2017
  2. 02. තෙමාසික මතක බණ_11-03-2017
  3. 03. කමටහන් පැන_11-03-2017