අනාත්ම දහම පටලවාගෙන අමාරුවේ නොවැටෙන්න!

නෙලුම් පත ජලයෙන් තෙත් නොවේ.

බොහෝ බෞද්ධයන් අනාත්ම ධර්මය වැරදි ආකාරයට අවබෝධ කරගැනීම නිසා නොමග යති. අනාත්ම ධර්මය නිවැරදි ආකාරයට බුද්ධ ධර්මයට ගලපා ආර්ය මාර්ගය වැඩෙන ලෙසට පැහැදිලි කල හැකි ස්වාමින්වහන්සේලා අද කාලයේ ලංකාවේ දුර්ලභය. බෞධයන් තුල අනාත්ම දහම ගැන නිවැරදිව සුතමය අවබෝධයක් හෝ නොමැතිවීම බුද්ධ ධර්මයට අවාසි ලෙස බලපෑ හැකිය.

ඉතාම ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේනමකගේ දිගු දේශනාවකින් උපුටාගත් කෙටි වීඩියෝ පට ඛණ්ඩයක් පසුගිය දිනයන්හිදී මුහුණුපොත (Facebook) හරහා ප්‍රසිද්ධ විය. එහිදී එම ස්වාමින්වහන්සේ ඉතාම දක්ෂ ලෙස සිත්ගන්නා ආකාරයකට අපට දුර ඈත පෙනෙන ‘මිනිසෙකු’ ඇත්තවශයෙන්ම කුඹුරක අටවා තිබෙන පඹයෙක් බව පෙන්වා දුන්හ. උන්වහන්සේ එම උපමාව තවදුරටත් විස්තර කරමින් පැවසුවේ තදබල ගංවතුරකින් එම පඹයා ගසාගෙන ගියොත් අපට දුකක් ඇති නොවන බවයි. එනමුදු එය මිනිසෙකු වූවානම් අපහට මහත් දුකක් ඇතිවිය හැකි බවත් එලෙස වන්නේ චන්දරාගය ඇතිකළ ආත්ම දෘෂ්ටිය නිසාවෙන් බවත්ය. ආත්ම දෘෂ්ටිය නිසාවෙන් පඹයා මිනුසෙකු බවට පත්වෙන අයුරුත් එවන් පඹයන් මව, පියා සහ ඥාතීන් කරගන්න ආකාරය උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලිකල සේක. මෙම පැහැදිලිකිරීම අසම්පුර්ණ සහ නොමගට යොමුකරවන ධර්ම ඛණ්ඩයක් වන අතර එය ආත්මයක් ‘නැත’ කියන්නාවූ තර්කයකින් පමණක් නවතී. මෙය අසම්පුර්ණ වන්නේ ඇයි?

බුදුරජාණන්වහන්සේ විසූ සමයෙහි සිටි ෂඩ් සාස්තෘන් ගැන අප අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් එක් අයෙක් අපූරු අනාත්මවාදයක් ප්‍රකාශකර සිටියේය. ආත්මයන් නැති බැවින් එක් කොනක සිට එකදිගට මනුෂ්‍යයන් දස දසදහස් ගණනක් පෙති ගසා මරා දැමුවද කිසිදු වරදක් නොවන බවත් එසේ වන්නේ ආත්මයන් නොමැතිවීම නිසාවෙන් බවත් ප්‍රකාශ කළහ. බුදුරජාණන්වහන්සේ එය වැරදි දෘෂ්ටියක් වන බවත් ඒ වැරදි දෘෂ්ටිය නිසා පුද්ගලයන් අපායගාමී වියහැකි බවත් වදාල සේක.

බුදුරජාණන්වහන්සේ විටෙක ආත්මයක් ඇති ලෙසත් විටෙක ආත්මයක් නැති ලෙසත් ධර්මය ගලපා පෙන්වුහ. අනාත්ම ධර්මය සත්වයන් දුකින් මුදවා සසරින් එතර කිරීම සඳහා බුදුරජාණන්වහන්සේ යොදාගත්හ. බුදු දහමේ අනාත්ම ධර්මය ගලපා ඇති අයුරු පැහැදිලි කීරීමට අපවිසින් ධර්ම ඛණ්ඩයන් තුනක් පහතින් ඉදිරිපත් කර ඇත. එම ධර්ම ඛණ්ඩයන් අති පූජනීය උඩඊරියගම  ධම්මජිව සහ පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් වහන්සේලාගේ ධර්ම දේශනා වලින් උපුටාගන්නාලදී.

පළමු ඛණ්ඩයෙදී පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් විසින් අනාත්ම දහම බෞධයන් විසින් පටලවා ගන්නා ආකාරයන් සමහරක් පැහැදිලි කරනුලබයි. දෙවන ඛණ්ඩයේදී උන්වහන්සේ බුදුදහමේ අනාත්මය පැහැදිලි කරන සහ යොදාගන්නා ආකාරය විවරණය කරයි. තෙවන ඛණ්ඩයෙදී අති පූජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් විසින් පැහැදිලි කරනුයේ බුදුරජාණන්වහන්සේ ‘ඇත’ හෝ ‘නැත’ යන අන්තයන් දෙකම ප්‍රතික්ෂේප කල බවය. නියම අවබෝධය  මාර්ග ඥානයන් සාක්ෂාත් කිරීමේදී ක්‍රමිකව ඇතිවන ආකාරයත් එම ඛණ්ඩයේදී පැහැදිලි වේ.

ධර්ම ඛණ්ඩ බා ගත කර ගැනීමට (download කිරීමට): ධර්ම ඛණ්ඩය මතට කර්සරය (bring the cursor on to the link) ගෙන දකුණුපස (right) click කර පහතට වැටෙන මෙනුවෙන් ‘save as’ ගොනුව click කරන්න.

1. අනාත්ම දහම පටලවාගෙන අමාරුවේ නොවැටෙන්න_ පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් වහන්සේ. 

2. අනාත්මය බුදුදහමෙහි පැහැදිලිවන සහ යොදාගන්නා ආකාරය_ පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් වහන්සේ.

3. බුදුරජාණන්වහන්සේ ‘ඇත’ සහ ‘නැත’ අන්තදෙක ප්‍රතික්ෂේප කළහ_ අති පූජනීය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් වහන්සේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.